Saturday, December 24, 2011

ඇත්ත කතාවක්......

මුන්ට නිකං දෙන දේ කාලා ඉන්න බැරි හැටි....රට විනාස කරන අමන රැලක්.......එක එක පක්ෂවලට කඩේ යන මොඩ රැල......

මේ අද මිනිස්සුන්ට කැම්පස් එකේ ඉන්න ශිෂ්‍යයයෝ ගැන තියෙන ආකල්පය,





ඇත්තටම කැම්පස් කොල්ලෝ කෙල්ලෝ කියන්නේ කවුද? උන් මොනාද කරන්නේ.....ඇයි මේ සැරින් සැරේට පාරට බැහැලා කෑගහලා ගුටිකාලා අත පය කඩා ගන්නේ.....

ලියන්න හිතුනා මට හිතෙනදේ මට පේන තේරෙන විදියට, මොකද මාත් කැම්පස් කොල්ලෙක් නිසා.....



දැන් රටේ තියෙන තත්වෙත් එක්ක මේවා කරන්න ගිහින් හෙට අනිද්දා අපි පස්සේත් සුදු වැන් එයිද දන්නේ නෑ....... ඔන්න ඔහේ කමක් නැ අරන් ගිය දෙන් කියලා ලියමු



මේ දවස් වල පත්තරේ ගුවන් විදුලියේ රුපවාහිනි ප්‍රවෘත්ති බැලුවම වැඩිපුරම තියෙන්නේ ලංකාවේ මොකක් හරි කැම්පස් එකක ප්‍රශ්නයක්......නවක වදය, උද්ඝෝශණ,ගුටි බැට.......

ඒත් කැම්පස් එකේ කොල්ලෝ කෙල්ලෝ කරන එක සමාජ සත්කාර ගැන මාධ්‍ය වලින් මිනිස්සුන්ට සම්ප්‍රේශනය නොවෙන්නේ ඇයි කියලා කාටවත් හිතිලා තියෙනවද?

ඇත්තටම කැම්පස් කොල්ලෝ කෙල්ලෝ හොඳ වැඩ කරන්නෙම නැතිද කියලා ඔයාලට හිතෙනවා ඇති ඔයාලා දකින අහන දේවල් එක්ක....මටත් පොඩි කාලේ ඔය ප්‍රශ්න ටික ඔහොමම තිබුනා..... එත් කැම්පස් ආවට පස්සේ ඔය ප්‍රශ්න හැම එකකටම උත්තර මට ලැබුනා...

එහෙනම් අපි කරපු හොඳ වැඩ වලින් ටිකක් කියලම පටන් ගන්නම්......

"අරුණැල්ල" කිව්වම ඔයලට මතක් වෙන්නේ මොකක්ද? මම කියන්න යන්නේ අපි හැමදාම දකින අරුණැල්ල ගැන නම් නෙවෙයි.මේක ටිකක් වෙනස් අරුණැල්ලක්, පේරාදෙණිය ඉංජිනේරු පීඨයේ ඉගෙන ගන්න කොල්ලන්ගේ කෙල්ලන්ගේ අපුරු සමාජ සත්කාරක්.

ගුරුවරයෙක් දැකලා නැති හද්දා පිටිසර ගම්වල දුෂ්කර පාසල් හොයගෙන ගිහින් සාමාන්‍යය පෙළ ලියන්න ඉන්න පොඩි උන්ට අකුරු කියලා දෙන්නේ,පහසුකම් නැති පාසල් වලට පුස්ථකාල,පන්ති කාමර හදලා දෙන්නේ,දුප්පත් ළමයිනට ශිෂ්‍යත්ව දෙන්නේ...ඒ උන්ගේම දාඩිය මහන්සියෙන්……ඒක තමයි මම දැක්ක නියම අරුණැල්ල....(https://www.facebook.com/arunella)

Science, Arts, Medical, Dental, Wet, Agri, AHS මේ හැමෝම මේ වගේ වැඩ කරනවා.මම E fac කොල්ලෙක් නිසා අපේ වැඩේ ගැන විතරක් දැම්මා අනිත් අයගේ ඒවා දැම්මේ නැ කියලා කට්ටිය අවුල් ගන්න එපා. වැඩිපුර විස්තර දන්න එක දැම්ම ඉතින්.

තව දෙයක් තියෙනවා,"මාගේ දේශය අවදි කරනු මැන සාහිත්‍යය උළෙල" වසරකට වරක් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍යය සංගම විසින් සංවිධානය කරනු ලබන දැවැන්ත වැඩක්.මේක ගැන මම වැඩිපුර විස්තර වෙන වෙලාවක ලියන්නම්.මට දෙන්න ඕනා පණිවිඩේ තමයි, අපි කරන මේ වගේ හොඳ වැඩ ඔයාලා පත්තරේ,ප්‍රවෘත්තිවල දැකලා අහලා තියෙනවද?

ටිකක කල්පනා කරලා බලන්න, දැකලා නැහැ නේද?

එතකොට අපි පිකට් එකක් පාගමනක් ගියහම අපි පොලිසියෙන් ගුටි කාලා දුවන ඒවා News වල දවසකට මාසෙකට කී වතාවක් පෙන්නනවද?

අපි අරුණැල්ල අනිත් සමාජ සත්කාර වලට මාධ්‍ය ආවරණය ගන්න කොච්චර දැඟලුවත් චැනල් එකක් එන්නේ නැහැ.අපේ මේ වැඩ මාර්කට් නැතිලු.......!එතකොට මාර්කට් කරන්න ලේසි අපි ගුටිකන පිකට් එකද? ඕක තමා අපේ රටේ News චැනල් වල තත්වේ.සමහර නාලිකා ගැන කතා නොකර ඉමු.

ඇයි අපි පිකට් ගිහින් ගුටි කන්නේ....? අපිට මේ අඩුවට හම්බෙන බත් එක කාලා hostel එකට වෙලා පොතක් පතක් බලාගෙන ඉන්න බැරි නිසාද......??

මේ කතාව කියන්න කලින් නිදහස් අධ්‍යාපනය මොකක්ද, නිදහස් අධ්‍යාපනයට වියදම් කරන්නේ කොහොමද කියලා කියන්නම්.....

අධ්‍යාපනයේ සම අයිතිය නිදහස් අධ්‍යාපනය කියලා අර්ථ කථනය කරන්න පුළුවන්.සරලව රටේ දරුවන්ට මුදල් හෝ වෙනත් හේතුවක් යන සාධක මත තීරණය නොවී නොමිලේ අධ්‍යාපනය ලබා ගැනීමට නිර්මාණය කරන ලද ක්‍රමයක්.නිදහස් අධ්‍යාපනයේ පියා C.W.W. කන්නන්ගර මහත්තයා කියලා අමුතුවෙන් මතක් කරලා දෙන්න තරම් ඔයාලා කුහක වෙලා නැතුව ඇති කියලා මම හිතනවා.කන්නන්ගර මහත්තයට පින් සිද්ධ වෙන්න තමයි අපි කොයි කවුරුත් අද මේ තැන ඉන්නේ.ඒ ගැන ලියන්න ගියොත් පොත් සීයක් පිරෙන්න ලියන්න පුළුවන්.

ආයෙත් මාතෘකාවට එමු....

දැන් කවුද එතකොට මේ නිදහස් අධ්‍යාපනයට වියදම් කරන්නේ....!!

අපේ රටේ අධ්‍යාපනයට රටේ දළ දේශිය නිෂ්පාදනයෙන් වෙන් කරන්නේ 3% යි.එකෙන් 1.8% තම්යි උසස් අධ්‍යාපනයට වෙන් කරන්නේ.ඒත් එක්සත් ජාතින්ගේ සංවිධානය කියන්නේ රටක් දළ දේශීය නිශ්පාදනයෙන් 6% අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කල යුතුයි කියලා.

ඒවා වැඩක් නෑ....! ඔය 3% හරි 1.8% හරි එන්නේ වෙන කොහෙන්වත් නෙමෙයි, ඔයලාගෙම pocket එකෙන් තමයි.අද ෆෝන් එකට කීයක් reload කලාද? ගෙදරට කැම ටික ගේන්න කීයක් වියදම් උනාද? ඔය හැම එකකටම බදු ගහලා නේද තියෙන්නේ.....? ඔය බදු සල්ලි වලින් කොටසක් තමයි රටේ අධ්‍යාපනයට වෙන් වෙන්නේ.ඒ කියන්නේ අපිට ඉගෙන ගන්න වියදම් කරන්නේ ඔයාලා, පැහැදිලි ඇතිනේ කාරණේ.

දැන් බලමු අපි පිකට් කරන්නේ මොකද කියලා.

නිදහස් අධ්‍යාප්නයේ ඉහලම වරප්‍රසාදය ලබන පිරිස විදියට නිදහස් අධ්‍යපනයට බලපෑමක් එල්ලවෙන ඕනෑම වෙලාවක අපි කතා කරනවා.ඒ කතා කරන එක විදියක් තමයි පික්ට්,උද්ඝෝශණ කියන්නේ.මෙන්න මේ කාරණාව හරියට තේරුම් ගන්න යාළුවනේ, අපි මේ පාරට බැහැලා පිකට් කරලා “නිදහස් අධ්‍යාපනය සුරකිවු” කියලා කෑගහන්නේ ඒකෙන් අපිට ලැබුන දේවල් ගැන හිතලා නෙමෙයි.මේ රටේ අති බහුතරයක් වෙච්ච අපිට ඉගෙනගන්න බදු ගෙවන ඒ දුප්පත් අම්මලා තාත්තලා තමන්ගේ දුව පුතා කැම්පස් යවලා ලොකු මනුස්සයෙක් කරන්න දකින දහසක් හීන වියැකිලා යන්න දෙන්න බැරි නිසා.

කැම්පස් එකේ ඉන්න අපි තව අවුරුද්දකින් දෙකකින් degree එක අරගෙන හොඳ රස්සාවක් කරන කාලෙට අපේ ළමයි privet campus එකකට යවන්න බැරි කමක් නැහැ,එහෙම කියලා අපිට ඕන දෙයක් වෙච්චාවේ කියලා බලාගෙන ඉන්න පුලුවන්.ඒත් අපි ඒ තරම් පහලට වැටෙන්න තරම් කුහක අමන රැලක් නෙමෙයි.එකයි අපි පාරට බැහැලා කෑගහලා පොලිසියේ කඳුලු ගෑස්, බැටන් පාරවල් කාගෙන හරි මේවා රකින්න හදන්නේ.ඒ රටේ තවත් දුප්පත් මල්ලියෙක්ට නංගියෙක්ට තමන්ගේ අනාගතය ගොඩනාගන්න මේ තියෙන පුන්චි ගුරු පාර ආරක්ෂා කරලා දෙන්න.නැතුව කාගෙවත් පක්ෂෙකට කඩේ ගිහින් හරි කාලා තෙලේ වැඩි වෙලා නෙමෙයි.

හිතෙනවනම් කාට හරි අපිට අම්මලා තාත්තලා නැහැ කියලා කියන්න තියෙන්නේ අපිටත් අම්මලා තත්තලා ඉන්නවා අහිංසක බලාපොරොත්තු ගොඩක් හිතේ තියගෙන කවදා හරි අපි එයාලගේ ලෝකේ ලස්සන කරයි කියලා.

ඔයලා දකින හැම දේකම දෙපැත්තක් තියෙනවා ඒක නිසා හොඳට හොයලා බලලා තීරණ ගන්න.

ඊයේ පෙරේදා දවසක පේරාදෙණියේ මහා ශිෂ්‍ය සංගමය ඇතුලු පීඨ ශිෂ්‍ය සංගම තහනම් කලේ නිදහස් අධ්‍යපනය රැක ගන්න පාරට බැස්ස නිසා.ඒ විස්තරේ වෙනම ලියන්නම් ,පේරා වල මොකද උනේ මොනාද වෙන්නේ කියලා.නිදහස් අධ්‍යපනයට දෙවි පිහිටයි......!!!!!

No comments:

Post a Comment